මේ තරම් සීග්‍රයෙන් විනාශ වන මාගේත් ඔබගේත් සිංහල ජාතියත්, සිංහල දේශයත් , සම්බුද්ධ ශාසනයත් වහ වහා ආරක්‌ෂා කර ගැනීමට නම් පළමුවෙන් මහා සංඝරත්නය එකමුතුව සමගි සම්පන්න විය යුතුමය. නමුත් අපට එවැනි සුබවාදී දසුනක්‌ පෙනෙන තෙක්‌ මානයක හෝ නොමැති බව පළමුවෙන් සටහන් කරනුයේ පෙනෙන මානයක්‌ හෝ ඇතිකර ගැනීමේ භාරදුර වගකීම ගිහි පැවිදි අප දෙපාර්ශ්වයේම අඩු වැඩි වගකීමක්‌ හා අද දවසේ යුතුකමක්‌ නිසාය. බොහෝ විට අප පුරුදුවී ඇත්තේ පරිබාහිරන් එන සතුරු බලවේගවලට එරෙහිව කඳවුරු බඳිමින් නැගී සිටීමටය. එයට අවශ්‍ය තරම් සාක්‌ෂි හා සාධක මෑත කාලීන වසර දෙක තුනක ඉතිහාසයම පමණක්‌ විමසා බැලීමෙන්ම වුවද ඉතා පැහැදිලි වන්නේ බිහි වූ සංවිධාන හා ඒවායෙහි ක්‍රියාකාරීත්වය නිසාය. මිතුරු ලෙසින් හෝ සතුරු ලෙසින් එන සතුරා කෙසේ හෝ හඳුනා ගත හැක්‌කේ ඔහු තුළ ඇත්තේ සතුරු ෙච්තනාවම නිසායි. මන්ද එවන් දැනීමක්‌ මේ සමාජයේ වා තලය සමගම මුසුව ඇත්තේ සම්බුදු සිසිලස නිසාමය.

රට ජාතිය ශාසනය මහා ව්‍යසනයන්ගේ පෙනෙන තෙක්‌ මානයන්හීදි කුමන හෝ අන්දමකින් නැවත පණ ලබන්නේ විශ්වකර්මයන් විලසිනි. රට දැය සමයට විනකරනවුන් විනාශ වී යන්නේ ස්‌වභාව ධර්මයා හා බැඳී ඇති අදෘශ්‍යමාන බලවේගයන්ගේ අනුහසිනි. නමුදු අමතක නොකළ යුතු සත්‍යයක්‌ ද ඇත. මිත්‍යාදෘෂ්ටීන්හි දැඩි බලවත්වීම මත ධර්මය යටපත් වී අධර්මය රජ කරවන තැනට අප පත්ව ඇති නිසා ධර්මය රජකරවන්නට නැතහොත් සම්‍යයක්‌ දෘෂ්ටිය බලවත් කරන්නට එසේත් නැති නම් බුදු දහම ආරක්‌ෂා කරගනිමින් සපත කරවන්නට අද දවසේදී පෙරට වඩා යුහුසුලු විය යුතුය. එනිසා මේ රටේ සිංහලයාට මෙන්ම බෞද්ධයාට හිමිතැන අහිමිකිරීමට එරෙහිව නැගී සිටිය යුතුමය. මිත්‍යාදෘෂ්ටියට එරෙහි වෙමින් සම්‍යක්‌ දෘෂ්ටියට ඉන් සිදුවන හානිය වලක්‌වාලමින් සම්‍යක්‌ දෘෂ්ටිය ආරක්‌ෂා කිරීමද නිවන් මගේ යන බොදුනුවකුගේ කාර්යභාර්යයේ කොටසක්‌ බව වහ වහා සමාජයට ඒත්තු ගැන්විය යුතුය. එවිට නිවන් දකින්නට ද නිවැරැදි රටක්‌ ජාතියක්‌ ශාසනයක්‌ තිබීමේ අවශ්‍යතාව වැටහෙනු ඇත. එවිට රට ජාතිය ශාසනය සැබවින්ම සුරක්‌ෂිත කරන්නට පෙරට එන ගිහි පැවිදි පිරිසට ජාතිවාදී ආගම්වාදී ලේබලය නොවදිනු ඇත.

මහා අවාසනාවකි. අපේ හාමුදුරුවරු අද වන විට නිකාය වාදය මහා ඉහළින් කර පින්නාගෙන ඇත. ඒ අනුව යන කුලවාදයද කර පින්නාගෙන වැඩ කරන ගමන් සමාජයට එහෙම නැති බව ඇඟවීමට ප්‍රලාප ද දොඩවති. ඒ දෙය ඒත්තු ගැන්වීමට නොයෙක්‌ දේ කරති. නිකාය වාදය කරපින්නාගෙන අර නිකාය උසස්‌ අර නිකාය පහත් යෑයි සම්මතයන් ගොඩ නගාගෙන ඒ අනුව එකම නිකාය කොටස්‌ විශාල සංඛ්‍යාවකට බෙදා වෙන්කර ගෙන ඇත. ඒ ඒ පාර්ශ්වයන්ට මහ නායක, අනු නායක, අධිකරණ සංඝනායක ආදී ලෙස පට්‌ටම් හදාගෙන කැලේ රජා මමයි කියමින් ශාසනයට අයිතිකාරයෝ සතර දිබ්බාගෙන්ම බිහිව ඇත. නමුත් දිනෙන් දින රට දැය සමය වල පල්ලට යාම නම් අඩුවක්‌ සිදුව නොමැත. නිකාය වාදයෙන් ඉදිමුණු ඇතැම් හිමිවරුන් සුදුස්‌සාට සුදුසු තැන දී මේ බුදුන්ගේ උත්තුංග ආදර්ශයට සම්පූර්ණයෙන් පිටු පාන අවස්‌ථා එමටය. ශාසනයට පැවිදිකිරීමට දරුවන් අතිශය දුර්ලභ මේ සමයේදී පවා ඇතැම් නිකායන් කුල මානයෙන් ඔද්දල් වු මනසින් දරුවන් බැහර කරති. නිකායන් අනුව රජමහා විහාර, දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ශ්‍රී පාදස්‌ථානය ආදී වශයෙන් වන පූජනීය ස්‌ථාන ඒ ඒ නිකායානුබද්ධව සින්නක්‌කර ඔප්පු හදාගෙන පවරාගෙන ඇත.

ඇතැම් සංඝයා වහන්සේලා ඒ ඒ දේශපාලන පක්‌ෂ බදු අරගෙන ඇත. ඇතැමුන් මාධ්‍යයට කෙසේ හෝ රිංගා ගනිමින් නළු බට්‌ටන් වී බුදුන්ගේ බණ තම බූදලය කර ගනිමින් විකුණමින් වෙන්දේසි කරති. ඇතැමුන් ගුරු සේවය වැනි උතුම් සේවාවන්ගෙන් පවා ඔබ්බට ගොසින් කාර්යාලවල ලිපි ගොනු ඒ මේ අත රැගෙන යන ලිපිකරුවෙකු හෝ මොනයම් හෝ පරිපාලන තනතුරක මට්‌ටමට අද වන විට පත්ව ඇත. මේ ආදිවශයෙන් නිකාය වාදය පෙරටු කොටගත් සිංහල දේශයේ සංඝ සංමාජය අයාලයේ යන ගව රැලක්‌ සේ සී සී කඩ බෙදී වෙන් වී සුන්නද්දූලි වී ඇත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහල වී ප්‍රමුඛයෙන් සිදු කළේ කුල ගොත් ආදිවාදයන්ට නිර්දය ලෙස පහර දීමයි.

අප සමාජයේ මුරදේවාතවුන් වහන්සේලා ලෙස මහා සංඝරත්නය විරුධාවලිය ලද්දේ පන්සලේ හෝ තමාට අයිති දේපලේ උරුමය රකිමින් වත්තේ හතර මායිම ආරක්‌ෂා කරන නිසා නොව ජාතියට දේශයට සමයට වැඩ පිණිස වෙහෙසුන නිසාය. නමුත් අද තත්ත්වය හාත්පස වෙනස්‌ව ගොස්‌ ඇත. සාංඝික දේපළ ක්‍රමය අද වන විට සංඝ සමාජයෙන් ඈත්ව ගොස්‌ පෞද්ගලිකත්වය අතිශයින් ඉස්‌මතුව ඇත. රටේ දුප්පත් විහාරස්‌ථාන සිය ගණනක භික්‌ෂුන් වහන්සේලා නිසි ලෙස දාන වේල නැතිව වැඩ සිටින නමුත් ඇති හැකි විහාරස්‌ථාන කොතෙකුත් තිබුණත් කිසිදු අයුරකින් උදව් උපකාරයක්‌ නොමැත්තේ මන්දැයි සිතා ගැනීමට පවා අපහසුය.

රටේ දුෂ්කර පළාත් ප්‍රමුඛව බෝහෝ ස්‌ථානයන්හි දුප්පත්කම ප්‍රධාන කොටගත් අපහසුතාවයන් නිසා අප බොදු ජනතාව ආගම මාරු කොට අන්තවාදීන්ගේ ගොදුරු බවට පත් වන්නේ අසරණකම නිසාමය. අගනුවර කේන්ද්‍ර කරගත් විහාරස්‌ථාන ටිකෙන් පමණක්‌ම වුවද මේ රටේ සිදුවන අන්‍යාගමිකකරණයට පිළියමක්‌ සෙවිය හැකිය. ඒ හැර අන්තවාදී කල්ලි කණ්‌ඩායම්වලට බැණ බැණ සිටීමෙන් පලක්‌ නොමැත. බැනීමෙන් සිදු වන්නේ ඔවුන් සිය දහස්‌ ගුණයක වේගයෙන් ක්‍රියාත්මක වීමයි. එනිසා සංඝ සමාජයේ පෙරමුණට පැමිණෙන නවක භික්‌ෂු ප්‍රජාව හෝ පරණ පරම්පරාවේ හන මිටි අදහස්‌ වලින් වියුක්‌ත වී උතුම් ශාසනික පරමාර්ථ සම්පූර්ණයෙන් කුණු කූඩයට නොදමා යතුරු කැරැල්ල අපවත් වන මොහොත තෙක්‌ ඉනේ නොගහ ගන්නා තැනට පත් වුවහොත් එය තම ජීවිතයට සේම සමස්‌තයක්‌ ලෙස පොදු මහත් සංඝ සමාජයටම මෙන්ම ජාතියට රටටද සෙතක්‌ වනු ඇත. මන්ද තව දුරටත් මේ රට දැය සමය රැකිය හැක්‌කේත් ඒ සදහා කොන්දේසි විරහිතව පෙරට පැමිණිය හැක්‌කේත් භික්‌ෂුන් වහන්සේලාට පමණක්‌ම වන නිසාය. එසේ නොමැතිව කාලෙන් කාලෙට බලයට පැමිණෙමින් මේ රටේ සියල්ල තම බූදලය කරගනිමින් රට කරවන උන්ට එය කිසිසේත් කළ නොහැක. මන්ද ඒ හැම එකෙක්‌ම පාහේ සිදු කරනුයේ තම බල සීමාව තුළ රට ජාතිය සමය ආදිව ඇති සියලු සම්පත් රටේ බෝඩිම්කාරයන් වෙමින් රටම ආක්‍රමණය කරන්නට තනන්නවුන්ට හා ලෝකයේ අනෙකුත් බළල් අත්වලට වෛශ්‍යකමේ යොදවමින් හෝ තම බඩ වියත රැක ගැනීමට යත්න දැරීමයි. එහි” තම මෑණියන් හෝ බිරිඳ හෝ වෛශ්‍යාකමේ යෙදවීම පිළිබදවද අප පුදුම විය යුතු නැත. ඒ තරමට පහත් ජරාජීර්ණ වූ අශික්‌කිත දේශපාලුවන් පිරිසක්‌ හා දේශපාලනයක්‌ අප රට තුළ ඇතැයි කීමට සෘජු භාවාදි ගුණයන්ගෙන් හෙබි මහා සංඝරත්නය හැටියට කීමට අප බියවිය යුතු නැත. මන්ද තමන්ගේ හා තම දරු පරම්පරාවේ මෙන්ම තමන්ගේ සමීප හෙන්චයියලාගේ පැවැත්ම සරිකරගත් පසු ඒ කිසි අවස්‌ථාවාදී රට කරවන දේශපාලුවෙක්‌ හෝ හොදට මෙන්ම නරකටද රට ජාති සමය ගැන කතා නොකරනු ඇත. එවිටද ඔවුන් විනාශ කළ සියල්ල වෙනුවෙන් කතාකරන්නට සිදු වන්නේ අප අපටමය. මන්ද වැනසෙන ජාතියක්‌ රටක්‌ ශාසනයක්‌ දෙස නෙතු අයාගෙන කිසිවක්‌ නොපෙනෙන නොදැනෙන ගාණට කිසිසේත අපට සිටිය නොහැකි නිසාය.

අප හට නින්දා අපවාද තර්ජන ගර්ජන ආදි නොයෙක්‌ කෙනෙහිලිකම් මේ සටහනින් එන බව ඉතා හොදින් හිඟිමු. නමුත් බොහෝ පුද්ගලයන් බොහෝ සංවිධාන ආදීන් කාතා කිරීමට අකැමැති තිත්ත ඇත්ත මෙසේ සමාජයට නිරාවරණය කරන්නේ රට දැය සමයට එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් හැකි සෑම දෙයක්‌ම පරිත්‍යාග කරමින් ජීවිත පරිත්‍යාගයෙන් වුවද කටයුතු කිරීමේ ආත්ම හරණය ඇතිවයි. ඇරත් සිංහල දේශයත් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් හැර රකින්නට හෝ රැකෙන්නට යමක්‌ නැත. සියලූ සත් දනන්ට ඇත්ත ඇති සැටියෙන් පෙනේවා. සිංහල දේශයත් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් දිනේවා…

ශාස්‌ත්‍රපති, රාජකීය පණ්‌ඩිත
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

උපුටා ගැනීම දිවයින විශේෂාංග : 2013-10-19