සූර්ය ඉලක්‌කය පදනම් කරගත් ලංකාවේ විශ්ව ස්‌ථාන සහ සිංහල අවුරුද්ද

හෙළ සාහිත්‍ය කලාවේ මෑතකාලයේ බිහිවූ ශ්‍රේෂ්ටතම ගත්කතුවරයා ලෙස හැඳින්විය හැකි මතුගම සෙනෙවිරුවන් ශුරින් විසින් 2014 අප්‍රේල් 09 දින ලංකාදීප බදාදා අතිරේකයට ලියන ලද ලිපියක් පදනම් කරගෙන සකස් කළ මේ ලිපිය කියවන ඔබ අප සැමට එළඹෙන සූර්ය මංගල්‍යයට අවබෝධයෙන් සුදානම්වීමට හැකිවනු ඇත.

දිගු සංස්‌කෘතික ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජනතාවට තමන්ටම අනන්‍ය වූ අලුත් අවුරුද්දක්‌ ඇත. එය ආරම්භ වන්නේ බක්‌ මාසයෙනි. සූර්යයානය හෙවත් අහස්‌ චක්‍රයේ සූර්යයා ගමන් කරන්නා වූ මාර්ගය පොළොවේ සැබෑ නැගෙනහිරට හා බස්‌නාහිරට කෙලින් වැටී නැත. ඊට අංශක විසිතුනහමාරක්‌ ඇලව පවතී. මහ පොළොව පූර්වාංශ වෙමින් එක්‌ වටයක්‌ සම්පූර්ණ වීමට වසර 25800 ක්‌ ගත වේ. නමුත් මහ පොළව භ්‍රමණය වන බැවින් ඉන් භාගයක්‌ උතුරු පැත්තටත් අනෙක්‌ කොටස දකුණු පැත්තටත් ඇලව පිහිටයි. ඒ අනුව වසරෙන් හය මාසයක්‌ සූර්යයා උතුරෙහිද අනෙක්‌ හය මාසයෙහි දකුණෙහිද ගමන් කරයි. මේ තත්ත්වය නිසා ලොකයේ සෑම රටකම සෘතු භේදය ඇති වේ. උත්තරායනය හා දක්‌ෂිණායනය යනුවෙන් අයන දෙකකට බෙදා දක්‌වා ඇත්තේ එහෙයිනි.

පෘථිවියට සාපේක්‌ෂකව සූර්යයාගේ ගමන් චක්‍රය අනුව උදාවන උත්තරායන සමයේ සිංහල අලුත් අවුරුදු සමය එළඹේ. මකර රවියේ (ජනවාරි 15) සිට මිථුන රවිය (ජූලි 15) දක්‌වා කාලය උත්තරායනයයි. කටක රවියේ (ජූලි 16) සිට ධනුරවිය (ජනවාරි 14) දක්‌වා කාලය දක්‌ෂිණායනයයි. මාර්තු මස විසි එක්‌ වනදා වනවිට ලංකාවට සාපේක්‌ෂව හිරු මුදුන් වීමට පටන් ගනී. අප්‍රියෙල් මස පස්‌වන දා පමණ වන විට හිරු දෙවුන්දර තුඩුව අසලින් උදා වේ. සූර්ය දොරටුව යන අර්ථයෙන් එය දෙවුන්දොර වන්නා සේ සූර්යයා ලංකාව හැරයන ලක්‌ෂය යන අර්ථයෙන් පේදුරු තුඩුව (පෑ දොර) වේ. අරීසෙන් අහුබුදු මහතා ඇතුළු හෙළ හවුලේ මතය වන්නේ හිරු මන්නාරමට මුදුන් වන අවස්‌ථාවේ දී අලුත් අවුරුද්ද උදාවන බවයි. අවුරුද්ද යනු වෙසෙසි අවස්‌ථාව යෙදෙන දිනය වශයෙන් ඔවුහු අර්ථ දක්‌වා ඇත. මේ දිනය නම් මහා සම්මත මනු රජු ඔටුනු පළන් දිනයයි. එය සිදුව ඇත්තේ මන්නාරම (මනු+නා+රම) නගරය ආශ්‍රිතව බව වැඩි දුරටත් දක්‌වා ඇත.

වර්තමානයේ දී මේ සිංහල අවුරුද්දට සිංහල දෙමළ හෝ සිංහල හින්දු යන ව්‍යවහාරය දක්‌වමින් විකෘති කර ඇත. එම ව්‍යවහාරය නිවැරදි නොවන්නේ ඇයි දැයි පළමුව බලමු. දෙමළ ජනවර්ගයට අයත් සෑමදෙනාම හින්දු නොවන්නා සේම හින්දු දහම පිළිගන්නා සෑම දෙනාම දෙමළ ද නොවේ. උතුරු ඉන්දියාවේ හින්දූන් තෛයිපොංගල් උත්සවය පවත්වන්නේ ජනවාරි මස 14 වන දිනයේ දීය. දක්‌ෂිණායන සමයේ දී උත්තර ධ්‍රැවය ආසන්න පෙදෙස්‌ වල දිවාකාලය කෙටිවී හිරුගේ ශක්‌තිය දුබල වෙයි. මේ තත්ත්වය තුළ නැවත සූර්ය බලය ආරම්භ වන උත්තරායන දිනයේ උත්සව පැවැත්වීමත් ආගමික චාරිත්‍ර පැවැත්වීමත් හින්දූන් ගේ සංස්‌කෘතික පිළිවෙත විය. ඉන්දියාවෙන් පැමිණි දෙමළ ජන වර්ගයටද මෙය අදාළ වන්නේ ඔවුන්ගේ බහුතරයක්‌ හින්දූන් වන බැවිනි. හින්දූන්ගේ දීපාවලී උත්සවය සමරන්නේ ඔක්‌තෝබර් මාසයේ දීය. හිරු තුලා රාශිගතව හැසිරෙන අවස්‌ථාවකි. තුලාවේ දී හිරු දුබල වෙයි. පහන් දල්වා දුබල හිරු ශක්‌තිමත් කිsරීම එහි අදහසයි. ඒ නිසා උතුරු වැසි හින්දූන්ට හා දෙමළ ජන වර්ගයන්ට අදාළ වන්නේ යටකී උත්සව දෙකයි. එය අනුකරණයෙන් ලංකාවේ දෙමළ ජනයාද මේ උත්සව පවත්වති. එසේම නායක්‌කර් යුගයේ දී චිත්තර පුන්නාඩු යනුවෙන් වසන්ත උත්සවයක්‌ ද විය. එය අවුරුද්දේ සතර වන මාසයේ දී යෙදෙන්නකි. මේ උත්සව සැමෙකක්‌ම හින්දු සංස්‌කෘතියේ උරුමයක්‌ ලෙසට මිස ලංකාවට අදාළ සංස්‌කෘතික හා විද්‍යාත්මක උරුමයක්‌ ලෙසට ගත නොහැකිය.

නමුත් හෙළයන් විසින් ආරම්භ කරන ලදුව තවමත් පවත්වාගෙන එන අවුරුදු මංගල්ලය වර්තමාන සිංහල ජනතාවගේ සංස්‌කෘතියේ අභිමානය කියාපාන අතීත උරුමයකි. මෙහි විද්‍යාත්මක කාරණා රාශියක්‌ ගැබ්ව පවතී. මේෂ රාශිය සූර්යයාගේ උච්චතම රාශියයි. මේෂ රාශිය අංශක බිංදුව ලෙසට ගෙන අහස්‌ චක්‍රය පෘථිවියට සාපේක්‌ෂව මැන සූර්යයාගේ ගමන් නිර්ණය කිරීම පැරණි හෙළයන් විසින් හඳුනාගත් ක්‍රමයයි. එහිදී මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්ති වන අවස්‌ථාව නොහොත් සූර්ය ගැට්‌ට තුළ නොනගතය දක්‌වා ( පැමිණියා වූත් නොපැමිණියා වූත් කාලය) අවුරදු චාරිත්‍ර සකස්‌ කර නව නිෂ්පාදන වර්ෂයක්‌ ආරම්භ කිරීම හුදෙක්‌ ලංකාවට පමණක්‌ ආවේණික සංස්‌කෘතික පිළිවෙතක්‌ බවට පත් වෙයි. ආහාර පිසීම, වැඩ ඇල්ලීම, හිස තෙල් ගෑම ආදී චාරිත්‍රයන් තුළ නව ආරක බලාපොරොත්තු මෙන්ම සෞඛ්‍ය පිළිවෙත් ද අඩංගු වෙයි. මෙවැනි අවස්‌ථාවක්‌ පිළිබඳ අවදියෙන් හා උනන්දුවෙන් බලන කණ්‌ඩායමක්‌ සිටී නම් එම අවධානය නිසැකයෙන්ම ඇති වන්නේ කෘෂිකර්ම පැවැත්ම උදෙසාය. සියලුම බීජ සහ ගහ කොළවල ජීවය පවතින්නේ සූර්ය ශක්‌තිය තුළය. එම ශක්‌තිය උපරිම වශයෙන් ලබා දෙන අවස්‌ථාව බක්‌ මාසයේ යෙදෙන බවද මේ කණ්‌ඩායම තේරුම් ගෙන සිටියහ. මේ නිසා සූර්ය වන්දනාව මෙන්ම විවිධාකාරයෙන් සොබා දහම සතුටු කිරීමටද මේ අවස්‌ථාව යොදා ගත් බව පෙනේ. අස්‌වනු කපා පාගාගෙන අවසන් වන මැදින් මාසය මහ දින් (ධාන්‍ය) කාලය ලෙසට ගෙන එය කෘෂිකාර්මික පැවැත්මේ වර්ෂයක්‌ නොහොත් වරුවක අවසානය ලෙසටද සලකන්නට උත්සාහ කළහ. සූර්ය වන්දනාව සිදු කරන අවස්‌ථාව අනුව ආරම්භ වුවද ගොවි කන්න දෙකක අවසානයේ ඇති වන මේ ඉසිඹුව අවුරුද්දක්‌ ලෙසට සම්මත කර ගන්නට පැරණි ජනතාව උත්සාහ කර තිබේ.

සූර්ය දිව්‍යරාජයා ලංකාවට දෙවරක්‌ මුදුන් වෙයි. පෘථිවියේ චලිතයත් සමග ඊට සාපේක්‌ෂව සිදු වන මෙම ක්‍රියාවලිය අපගේ පැරණි මුතුන් මිත්තන්ගේ අවධානයට ලක්‌ ව තිබුණි. සූර්යයා වටා ගමන් කරන පෘථිවිය මත දේශගුණික විපර්යාස ඇතිවන්නේ අංශක විසිතුනහමාරක ඇලයකින් යුක්‌තව ගමන් කරන බැවිනි. සූර්යයා වසරකට වරක්‌ පෘථිවියට ඉතා ළං වෙයි. එක්‌ වරක්‌ උතුරට ළංවද දෙවනි වර දකුණට ළංව ද ගමන් කරයි. පැරණියන් ජ්‍යෙdතිsෂ විද්‍යාව බිහිකොට ගෙන ඇත්තේ මෙම ගමනේ සිද්ධාන්ත මත ගණිත ක්‍රමයන් සංවර්ධනය කිරීමෙනි.

පැරණි හෙළයෝ හිරුට නමස්‌කාර කළහ. එහි පවතින විශ්ව ශක්‌තිය මනුෂ්‍යයාට ආරෝපණය කර ගත්හ. ශක්‌ති පැවැත්මේ මුල හිරු වීම මෙයට හේතුවයි. ඒ නිසා හිරු මුල් කොට සූර්ය සිද්ධාන්තය නමින් මහා ග්‍රන්ථයක්‌ ද බිහි කළහ. එසේම ලංකාවේ වෙසෙසි ස්‌ථාන තෝරා ගෙන ඒවා විශ්ව ස්‌ථාන ලෙසට සලකා එහි සිට පියවර මනිමින් නැකැත් ආදිය ගණනය කළහ. පසුව ඒ ස්‌ථාන දෙවොල් බවට පත් විය. මේ හිරු දෙවොල් කාලාන්තරයක ඇවෑමෙන් අද විවිධ ආගමික කණ්‌ඩායම් සතුව ඇත. මෙහිදී උත්සාහ කරනුයේ එවැනි විශ්ව ස්‌ථාන කීපයක්‌ ගැන යම් විවරණයක්‌ කිරීමයි. මෙයින් පළමු වැන්න නම් දෙවිනුවර විෂ්ණු උපුල්වන් දේවාලයයි. වර්තමාන විෂ්ණු දේවාලය නවවන සියවසේ දාපුලුසෙන් රජ දවස බිහි වී වර්ධනය වූවකි. එය හිරු දෙවොලක්‌ නොවේ. එහෙත් දෙවුන්දර නගරයට මඳක්‌ නැගෙනහිරින් කිලෝමීටරයක්‌ පමණ දුරින් කුඩා කඳු ගැටයක ගල් දෙවාලයක නටබුන් හමුවේ. පුරා විද්‍යා සංරක්‌ෂිත ස්‌ථානයක්‌ වන මෙය මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඳුන්වා දී ඇත්තේ උපුල්වන් දේවාලය වශයෙනි. තනිකර ගලෙන් සාදා ඇති මෙම දෙවොල ඊශ්වර දේවාලයක්‌ ලෙසටද ඇතැමෙක්‌ හඳුන්වති. මෙහි ප්‍රධාන දොරටුව යොමුව තිබෙන්නේ නැගෙනහිරටයි. දේව රුප දක්‌නට නැත. පියස්‌සේ කුඩා සිදුරක්‌ තිබූ බවත් එයින් සූර්යාලෝකය සෘජුව දෙවොලට ඇතුළත් වූ බවත් කියවේ. මෙම වාස්‌තු නිර්මාණය නවවැනි සියවසට අයත් බව සඳහන්ය. එසේ නම් විෂ්ණු දෙවොල ඇතිවන්නට පළමු මෙහි සූර්යයා පිළිබඳ පැරණි සංකල්පය ශක්‌තිමත් කොට විශ්ව ස්‌ථානයක්‌ ලෙස භාවිතා කරන්නට ඇතිවාට නිසැකය. විදේශිකයකු වූ දාපුලුසෙන් රජු මේ විශ්ව ශක්‌තියට ආගමික අර්ථයක්‌ ලබා දී උපුල්වන් දෙවොල කරන්නට ඇත. අප්‍රියෙල් මස 04 වන දින වන විට මේ ස්‌ථානය අසලින් සූර්යයා මුදුන් වන නමුත් එය දැන් සැබැවින්ම මුදුන් වන්නේ අක්‌ෂාංශ හයයි කලා තුනකට අසුවන බූස්‌ස හා කඹුරුපිටියෙනි.

දෙවන ස්‌ථානය දොඩන්දූව හා ගොඩවායයි. දොඩන්දූව කුමාරකන්ද කඳුගැටය පැරණි හෙළයන්ගේ විශ්ව ස්‌ථානයක්‌ වන අතර සුර අසුර යුද්ධය සිදුවූ තැනක්‌ වශයෙන්ද හඳුනාගත හැකිය. ගොඩවාය පැරණි වරායකි. එහි කඳු ගැටයක පැරණි බෞද්ධ සිද්ධස්‌ථානයකි. තෙවැන්න කූරගල හා කලුතර බෝධියයි. කූරගල පර්වතයේ තපස්‌ පිල නැගෙනහිරට මුහුණලා සිටින අතර එහි පෙර ඉසිවරුන් බවුන් වැඩූ බව පැවසේ. සූර්ය නමස්‌කාරය සිදු කළ ස්‌ථානයකි. කලුතර බෝධිය තිබෙන ස්‌ථානයෙහි පෙර කුඩා කඳුගැටයක්‌ පැවතී ඇත. සුර අසුර යුද්ධය සිදුවූ ස්‌ථානයක්‌ වශයෙන් හැඳින්වේ. බුද්ධකාලයේ දී බෝධින් වහන්සේ නමක්‌ රෝපණයකර වැඳුම් පිදුම් කිරීම ආරම්භ කර ඇත. සිවු වැන්න ශ්‍රී පාදයයි. එය ලංකාවේ අග්‍රතම වන්දනීය ස්‌ථාන අතරින් එකකි. අතීතයේදී සමන් දෙවියන්ගේ වාස භවනයයි. එහි ද හිරු දෙවොලක්‌ මූලිකව පැවතියායයි සිතන්නට හැකිය. අක්‌ෂාංශ 06 කලා 48 හි පවතින මෙම ස්‌ථානයට වර්තමානයේ දීද අප්‍රියෙල් 07 වන දින හිරු මුදුන් වේ. බුදුන් වහන්සේ මෙම ස්‌ථානයේ පැවති විශ්ව බලය තේරුම් ගෙන ශ්‍රී පා සලකුණ තැබුවායයි සිතන්නට පිළිවන. පස්‌වැන්න වැටෙන්නේ ඒකලට හා හිරුකෝවිල යනුවෙන් අද ව්‍යවහාර වන ස්‌ථානයන්ටයි. ඒකල යනු ඉලක්‌කයයි. හිරු කෝවිල යනු හිරු දෙවොලයි. සය වැන්න දෙවනගලයි. දෙවුනැගි ගල යනුවෙන්ද එයට ව්‍යවහාර වේ. මේ පර්වතයේ විවිධ කාල වකවානුවලට අයත් වාස්‌තු නිර්මාණ දක්‌නට තිබුණද එක්‌ විශේෂ ගල් ගොඩනැඟිල්ලක්‌ පිළිබඳව කාගේත් අවධානය යොමු වෙයි. එය හැඩයෙන් දෙවිනුවර ගල් දේවාලයට සමානය. නටබුන් වී යාමෙන් එහි වහල සුන් වී ඇති නමුත් වාස්‌තු නිර්මාණයක්‌ වශයෙන් අගයක්‌ ඇත. මෙයට ඉසුරුමුණි පාය යනුවෙන්ද නමකි. ඒ අරුතෙන් ගත්කල මේ ස්‌ථානයද අතීතයේ විශ්ව ස්‌ථානයක්‌ වශයෙන් සලකා ඇත. එහි හිරු දෙවොලක්‌ තිබුණේ යයි සලකා බැලිය හැක්‌කේ පුරා විද්‍යාත්මක නිරීක්‌ෂණයකිනි.

සත්වන ස්‌ථානය වශයෙන් ගත හැක්‌කේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ අරන් කැලේ ආරණ්‍ය සේනාසනයයි. එහි ඉතා පැරණි පධානඝර නටබුන් සහිත රක්‌ෂිතයක්‌ පවතී. කුමන ස්‌ථානයක විශ්ව ඉලක්‌කයන් තැබුවාදැයි එකවර නිගමනය කිරීම අපහසුය. අටවන ස්‌ථානය හමුවන්නේ අනුරාධපුරයෙනි. එහි ඉසුරුමුණි විහාරය නමින් තිබෙන ස්‌ථානය විය හැකිය. රන්මසු උයනේ තිබෙන විශ්ව චක්‍රය මෙයට කදිම නිදසුනකි. නව වන ස්‌ථානයට ගැනෙන්නේ කුදිරමලේ කඳුගැටය හා අනෙක්‌ කෙළවරේ පිහිටා තිබෙන කෝනේශ්වර කෝවිලයි. මේ ස්‌ථාන දෙක උස්‌ භූමියක තිබෙන්නා සේම පුරා වස්‌තුවලින් ගහනය. පැරණි ගෝකණ්‌ණ විහාරය තිබුණේ වර්තමාන කෝනේශ්වර කෝවිල තිබූ ස්‌ථානයේය. වෙසෙසින්ම කොටි ත්‍රස්‌ත සමයේ දී මේ නටබුන් පසට යට කර දමා වර්තමාන කෝවිල ගොඩ නගා ඇත. දසවන ස්‌ථානය නම් ලංකාවේ අවුරුද්ද පිළිබඳව වැදගත් වන මන්නාරමේ තිරුකේදීශ්වරම් කෝවිලයි. එයට අමතරව හොරොව්පතානේ වෙහෙර බැඳි ගල නම් ස්‌ථානයක්‌ද රාමකන්ද නම් ස්‌ථානයක්‌ද පවතී. ඒවා තවමත් නිශ්චිතව හඳුනාගත නොහැකිය. නමුත් අතීතයේ දී එම පෙදෙස යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ වාසභූමියක්‌ව පැවති බවට සාධක හමුවේ. මන්නාරමේ තිරුකේදීශ්වරම් කෝවිල වර්තමාන හින්දු දෙවොලක්‌ වුවද නිසැකවම එය හිරු දෙවොලකි. 2014 වර්ෂයේ අප්‍රියෙල් 14 දා වන විට සැබවින්ම මන්නාරමට හිරු මුදුන් වන්නේ නැත. එය මුදුන් වන්නේ කච්චතිවු චුන්නාවිල් හා පුදුමාතලන් නම් ස්‌ථානයන්ට බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිs. ඒ නම් අක්‌ෂාංශ 09 කලා 23 කිනි. නමුත් මන්නාරම ඇත්තේ අක්‌ෂාංශ අටයි කලා නමයකිනි. නමුත් ජ්‍යෙdතිෂය අනුව මේෂ රාශිය මන්නාරමට සාපේක්‌ෂ නම් ඒ පැරණිs අදහසට අපට හිස නැමිය හැකිය. අප්‍රියෙල් 15 වන දා වන විට හිරු අක්‌ෂාංශ 09 කලා 45 වන ස්‌ථානය නොහොත් පැරණි හුණුගම නොහොත් චුන්නාකම් නම් ස්‌ථානයට මුදුන් වන අතර පේදුරු තුඩුව නම් ස්‌ථානයට මුදුන් වන්නේ නැත.

එහෙත් එය ලංකාවේ අවසන් විශ්ව ස්‌ථානයයි. එහි අද විෂ්ණු දේවාලයක්‌ පිහිටුවා ඇත. ලංකාවේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුවට සරල රේඛාවක්‌ ලකුණු කළ කල්හි පිළිවෙළින් දෙවුන්දර, ශ්‍රී පාදය, දෙවනගල අරන්කැලේ රන්මසු උයන, නල්ලූර් හා පේදුරු තුඩුව එක පෙළට වැටේ. එම පිහිටීම මගින් විශ්වයේ ශක්‌තිය ලංකාවට ආරෝපණය කර ගත් බව නිසැකය.

මේ ආකාරයෙන් බලන කල්හි සූර්යයා ලංකාවට මුදුන් වීමත් ඒ මගින් ධරණිතලයෙහි ඇති කරන ශක්‌තියත් පැරණියන් සුළු කොට නොතැකූ බව කිව හැකිය. ඒ මගින් බිහිකරන ලද විද්‍යාව පිළිබඳ ස්‌පර්ශයන් ඇතද එහි ගැඹුර පිළිබඳ අවබෝධයක්‌ අපට නැත. එය සෙවිය හැක්‌කේ පුරා විද්‍යාත්මක සමාජ හා සංස්‌කෘතික ගවේෂණයක්‌ තුළිනි. මේ කරුණු එයට ඉවහල් කර ගතහැකිය.

උපුටා ගැනීම : ලංකාදීප බදාදා අතිරේකය.