බෞද්ධයෙකු වශයෙන් ඔබ පොහොය දොළසේ වැදගත්කම ගැන දන්නවාද?

මෙවර අප ඔබව දැනුවත් කරන්නේ පොසොන් පුර පසලොස්වක පෝය (ජූනි) පොහොයේ වැදගත්කම ගැනයි.

ඊට ප්‍රථම පැරණි පොහොය ක්‍රමය පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්.

සිංහල ලිතට අනුව අපේ මාස 12

බක් (අප්‍රේල්)
වෙසක් (මැයි)
පොසොන් (ජුනි)
ඇසළ (ජුලි)
නිකිණි (අගෝස්තු)
බිනර(සැප්තැම්බර්)
වප් (ඔක්තෝම්බර් )
ඉල්(නොවැම්බර්)
උදුවප් (දෙසැම්බර් )
දුරුතු (ජනවාරි)
නවම් (පෙබරවාරි)
මැදින් (මාර්තු)

මේ මාසයකට පොහොය දින 04 ක් තිබේ. පැරණි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සම්මත සතර පොහොය සලකන්නේ පහත ආකාරයටයි.

මාසයේ 08 වන දිනය පුර අටවක පෝය
මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය
මාසයේ 23 වන දිනය අව අටවක පෝය
මාසයේ 30 වන දිනය අමාවක පෝය

මේ පොහොය සතරින් බෞද්ධයාට වැදගත්ම පොහොය වන්නේ පුර පසළොස්වක පොහොය දිනයයි.

පොසොන් පුර පසලොස්වක පෝය දින බුද්ධ චරිතය ඇසුරෙන් සහ ලක්දිව බුදු සසුනේ ඉතිහාසය ඇසුරෙන් අපට වැදගත් වන්නේ කෙසේද යන්න ගැන ඔබව දැනුවත් කිරීමටයි මෙවර අපේ උත්සාහය.

පොසොන් පුර පසලොස්වක පෝය (ජූනි මාසය) වැදගත්කම.

අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල යන අරහතුන් වහන්සේලාත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද, භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පණිවුඩය මූර්තිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
දෙවනපෑතිස් රජු ඇතුළු 40,000 ක් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම.
සුමණ සාමනේරයන් වහන්සේගේ ආරාධනයෙන් මිස්සක පව්ව අබියසට වැඩි දෙවියන්හට සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු හිමියන් විසින් දේශනා කිරීම.