දළදා වහන්සේ ආරක්‍ෂා කිරීමේ වගකීමෙන් මිදීම හා රජය මගින් භික්‌ෂූන්ට නායක පදවි පත්කිරීමෙන් වැළකීම බුද්ධාගම ඈත් කිරීමේ එක්‌ පියවරකි. දළදා වහන්සේ යනු සිංහළේ රාජ්‍යත්වයේ සංකේතය යි. ඉංග්‍රීසීන් එය ආපසු බෞද්ධයන්ට පැවරුවේ රජය හා බුද්ධාගම අතර බැඳීම දුරුකිරීමටයි. සංඝ නායක තනතුරු පත්කිරීමේ පැරැණි රජ සිරිත කඩ කිරීමත්, ඉංග්‍රීසීන් භික්‌ෂූන්ගේ කටයුතුවලින් මිදීමට දැරූ වෑයමකි. 1848 කුඩාපොල හිමියන්ගේ ඝාතනයෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පත්කෙරුණ පරීක්‍ෂණ කමිටු වාර්තාවෙන් ඉංග්‍රීසි ආණ්‌ඩුව බුද්ධාගම ඈත්කරන්නට දැරූ වෑයම කැරැල්ලට එක්‌ හේතුවක්‌ බව එළිදරව් වෙයි. පුරන් අප්පුට ඔටුනු පැළැන්දූ දඹුලු විහාරයේ නාහිමියන් ඔබගේ පක්‍ෂපාතකම් බුද්ධාගමට ද නැත්නම් බ්‍රිතාන්‍ය ආගමට ද? කියා ඔහුගෙන් ප්‍රශ්න කළ බව උන්වහන්සේගේ කට උත්තරයේ සඳහන් වෙයි. (සිංහලයේ සංහාරය – මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද) එයින් පෙනෙන්නේ රාජ්‍ය පාලකයා හා බුද්ධාගම අතර සබඳකම රාජ්‍යත්වයේ නොබිඳෙන සාධකයක්‌ විය යුතු බවයි.

එහෙත් ලංකාවට නිදහස ලබාදීමේ දී තැනූ 1947 සොල්බරි ව්‍යවස්‌ථාවේ 29 (2) වගන්තියෙන් අතීතයේ සිට ලක්‌ රජය හා බුද්ධාගම අතර පැවැති බැඳීම සිඳ දැමීය. කිසියම් ආගමකට නොමැති වරප්‍රසාදයක්‌ තවත් ආගමකට ලබාදීම එයින් වළක්‌වා ඇත. එම නියමය බලපෑවේ බුද්ධාගමට යි. එයින් සිදු කෙරුණේ 1815 ගිවිසුමේ 5 වන වගන්තියේ බල හීන කොට ආගම් සම තත්ත්වයට තැබීමයි. එයින් බෞද්ධයන්ට සිදු වූ අගතිය ගැන දැනුණේ ඩී. එස්‌. සේනානායක අගමැතිවරයාගේ ප්‍රකාශයකිනි.” ඔය බෞද්ධාගමේ වැඩවලට, සංඝයාගේ වැඩවලට වියදම් කරන්ට ආණ්‌ඩුවට බැහැ. අනික්‌ ආගම්කාරයෝ විරුද්ධ වෙනවා. සියලු ආගම්වලට සමානව සලකන්නට ඕනෑ. ආණ්‌ඩුවට ආගමක්‌ නැහැ.” යනුවෙන් එතුමා හේන්පිටගෙදර ඤණසීහ හිමියන්ට පවසා ඇත. එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එජාපයෙන් වෙන් වුණේ බුද්ධශාසනය හා බෞද්ධ සිද්ධස්‌ථාන සුරැකීමට විශේෂ දෙපාර්තමේන්තුවක්‌ පිහිටුවන බවට සිංහල මහා සභාවට පොරොන්දුවක්‌ දෙමිනි. සෝල්බරි ව්‍යවස්‌ථාවේ 29 (2) වගන්තිය ඉවත් කර 1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට මුල් තැන දීම සිදු කළේ සැබෑ බෞද්ධ මාතාවක වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය යි.

1972 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මෙන්ම 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ද සියලු ආගමිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ඇත. 3 වන පරිච්ඡේදය 10 වන ව්‍යවස්‌ථාවෙහි තමන් කැමති ආගමක්‌ නිදහසේ ඇදහීම, වැළඳ ගැනීම ඇතුළු සිතීමේ නිදහසක්‌, හෘදය සාක්‍ෂියට අනුව කටයුතු කිරීමේ නිදහසත්, සෑම පුද්ගලයකුට ම ලබා දී ඇත. එසේම 3 පරිච්ඡේදයේ 14 (ඉ) ව්‍යවස්‌ථාවෙහි “සෑම පුරවැසියකුටම එකලාව හෝ අන් අය සමඟ ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන් පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය.” යනුවෙන් සඳහන් වෙයි. 9 වන වගන්තියේ ඇති ප්‍රතිපාදන බෞද්ධයන්ට භුක්‌ති විඳීමට ලැබෙන්නේ 10 සහ 14 (ඉ) ව්‍යවස්‌ථාවට යටත්විය. නමුත් එකී ව්‍යවස්‌ථාපිත කාරණා බෞද්ධයන්ගේද, මූලික මිනිස්‌ අයිතිවාසිකමකි. ඔවුන් ද පුරවැසියන් වන බැවිනි. ආගම අදහන්නට, දේශනා කරන්නට හැකි වුවත්, තම ආගම ලබ්ධියට අයත් නොවන පිරිසක්‌ අතර ආගම පැතිරවීමේ හෝ යාච්ඤා කිරීමේ අයිතියක්‌ මෙම ව්‍යවස්‌ථාවලින් කිසිවකුට ලැබෙන්නේ නැත. අන්‍යාගමික නිකායන් බෞද්ධයන් සම්බන්ධ කරගෙන ආගම ඇදහීම වරදක්‌ බව පාර්ලිමේන්තු ගත ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු තුනකින් තහවුරු වෙයි.

මුලින් ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ මානව අයිතිවාසිකම් ශක්‌තිමත් කිරීමේ අරමුණෙන් බව කියමින් 1994 දී යෝජනාවලියක්‌ ඉදිරිපත් කෙරුණි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ආගම ඇදහීමේ නිදහස පිළිබඳ 14 (ඉ) වගන්තියේ දැක්‌වෙන ” සෑම පුරවැසියකුට” යන වචනය වෙනුවට” සෑම තැනැත්තකුටම” යනුවෙන් එහි ආදේශ කර තිබුණි. එසේ කළේ ඇයිද? යන්න කෙනකුට එකවරම නොතේරේ. එම වෙනසේ අරමුණ විදේශිකයන්ට ශ්‍රී ලංකාව තුළ නිදහසේ ආගම් ප්‍රචාරයට ඉඩ සැලසීම යි. එය කූට උපායකි. නීති කෙටුම්පත්වල පුංචි වචනයකින් වූවත් සිදු කරන්නට සැරසෙන වෙනස දෙස බෞද්ධයන් ඇස ගසා ගෙන සිටිය යුත්තේ බෞද්ධ විරෝධී දේශපාලකයන් නිතරම බුද්ධාගමට වින කටින්නට වෙහෙසෙන බැවිනි. එක්‌ තැනකින් ලබාදෙන අයිතිය තවත් තැනකින් හෙමින් කප්පාදු කිරීම ඉංග්‍රීසීන්ගේ කාලයේ සිට සිදු වූවකි. එය අදත්, මතුවටත් සිදුවනු ඇත. 1995 අගෝස්‌තු 3 දින ප්‍රකාශිත දේශපාලන යෝජනාවලිය සැකසුවේ ඒකීය රාජ්‍යය සංකල්පය හළා දමා සාදන එක්‌සත් (බෙදුණ) රාජ්‍යය තුළ බුද්ධාගම පිළිබඳ අයිතිවාසිකම ඉවත් කරමිනි. එහි මධ්‍යම ආණ්‌ඩුව යටතේ පවතින වගකීම් දැක්‌වෙන සමගාමී ලැයිස්‌තුවේ යෞවන හා කාන්තා කටයුතු යන්නට යටින් 51 අංකය යටතේ බුද්ධ ධර්මය (ඉංගී්‍රසියෙන් බුඩිසම්) කියා තිබුණි. එමගින් බුද්ධාගමට ලබා දී තිබුණ ස්‌ථානය හා බුද්ධ ධර්මය කියූ විට පෘථුල අර්ථකථනයක්‌ නොමැතිකම තුළින් ඉස්‌මතු වුණේ බුද්ධශාසනය ගැන එදා ආණ්‌ඩුවේ නොසැලකිල්ල යි. එම යෝජනා ක්‍රියාත්මක කෙරුණා නම්, පළාත් ආණ්‌ඩු බුද්ධාගම රැකීමේ වගකීමෙන් නිදහස්‌ වෙයි. බලය බෙදීමේ එම දේශපාලන පැකේජය හැකිළුණේ (ඡේ. ආර්ගේ වදනින් පොට්‌ටනිය) අතිපූජ්‍ය පලිපාන ශ්‍රී චන්දානන්ද අස්‌ගිරි මහනාහිමි, රඹුක්‌වැල්ලේ ශ්‍රී විපස්‌සි මල්වතු මහනාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි වැනි ශ්‍රේෂ්ඨ යතිවරුන්ගේ හා බෞද්ධ අයිතිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අධිනීතීඥ ගාමිණී ඊරියගොල්ල, මාරයාගේ පැකේජය ගැන ලියූ එස්‌. එල්. ගුණසේකර වැනි විද්වතුන්ගේ උත්සාහය නිසයි.

බලය බෙදීමේ පොට්‌ටනියට සමගාමීව 1996 වසරේ දී චන්ද්‍රිකා මැතිනියගේ ආණ්‌ඩුව විසින් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක මුල් පරිච්ඡේද තුනක්‌ මහජන යෝජනා සඳහා ඉදිරිපත් කෙරුණි. එහි බුද්ධාගම සම්බන්ධ 9 වගන්තිය අංක 7 යටතේ යොදා එයට තවත් ඡේදයක්‌ එකතුකොට තිබුණි. බුද්ධශාසනය සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමට අදාළ සියලු කාරණාවල දී රජය විසින් උත්තරීතර සභාව විමසිය යුත්තේය යෑයි එහි කියෑවිණි.

1997 ජනවාරි 06 වන දින මහනුවරට රැස්‌ වූ ජනාධිපති උපදේශක උත්තරීතර සංඝ සභාව තමන්ගේ උපදේශ නොපිsළිගෙන දේශයේ, ජාතියේ හා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම අනතුරට පත්කිරීම ගැන විරෝධය දක්‌වමින් එම සභාවෙන් අස්‌වූහ. ජනාධිපතිනිය අවුරුද්දකින්වත් රැස්‌වීම නොකැඳවීම එක්‌ චෝදනාවකි. අස්‌ගිරි මල්වතු මහනාහිමිවරු, මඩිහේ පඤ්ඤාසීහ මාහිමි, පහමුණේ ගුණානන්ද අනුනාහිමි, පලිපාන සිරිනිවාස නාහිමි, නියංගොඩ විජිතසිරි නාහිමි, බෙල්ලන්විල විමලරතන නාහිමි, මාදුලුවාවේ සෝභිත හිමි, බ්‍රාහ්මණවත්තේ සීවලි හිමි, කඹුරුපිටියේ අරියසේන හිමි සහ කන්දේගෙදර සුමනවංස හිමි ඒ අස්‌ වූ පිරිසයි. චන්ද්‍රිකා ආණ්‌ඩුව හිතුවක්‌කාර ලෙස 2000 අගෝස්‌තු මස රට පෙඩරල් කරන එක්‌සත් රාජ්‍යයක්‌ යන වචනය සහිත ව්‍යවස්‌ථා කෙටුම්පතක්‌ ඉදිරිපත් කළේය. එය එජාපය සමඟ හවුලේ සෑදුවකි. එහි මුල් පිටපතේ බුද්ධාගමට මුල්තැන දීම මුළුමනින්ම ඉවත් කර තිබුණි. ඒ බව දැන් වූයේ බුදුදහමට ඉතා ලැදි එජාපයේ මන්ත්‍රීවරයෙකි. මහනාහිමිවරුන් එම ව්‍යවස්‌ථාවට විරෝධය පාන විට 9 වන වගන්තිය නැවත ඇතුළත් කළ ව්‍යවස්‌ථා පිටපතක්‌ අනුරුද්ධ රත්වත්තේ ඇමතිවරයා මගින් ගුවනින් ගෙනවුත් මහනාහිමිවරුන්ට භාරදුනි. එම ව්‍යවස්‌ථාව සකසා තිබුණේ මෙම ලිපියේ මුලින් සඳහන් කෙරුණ 1994 මානව හිමිකම් බලගැන්වීමේ යෝජනා, 1996 යෝජිත ව්‍යවස්‌ථාවේ බුද්ධාගමට අදාළ කාරණා පිළිබඳ බෞද්ධයන්ගේ අදහස්‌ නොසලකා එකීය රාජ්‍යය අහෝසි කරමිනි. මහනාහිමිවරුන්ගේ විරෝධතාවයේ හේතු කාරණා 2000-10-03 දින පත්තරවල පිටුවක්‌ පුරා පළවුණි. ව්‍යවස්‌ථාවේ හවුල්කාර එජාපය පාර්ලිමේන්තුවේ දී එයට ගිනිතැබුවේ ය.

2004 වසරේ දී එල්ලාවල මේධානන්ද හිමි බුද්ධාගම රාජ්‍ය ආගම කිරීමේ කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. බෞද්ධයන් අපේක්‍ෂා කරන්නේ දැනට තිබෙන 9 වන වගන්තිය ඉවත් නොකර තවදුරටත් එය බලාත්මක කිරීමයි. එහි එන බුද්ධශාසනය යන වචනය සඳහා නිර්වචනයක්‌ ව්‍යවස්‌ථාවෙන් ලබා දී නැත. හිටපු ජනාධිපතිවරයාගේ අදහස වුණේ බුද්ධශාසනය යනුවෙන් විවෘතව තිබෙන විට පුළුල් අරුතකින් එයට සම්බන්ධ ඕනෑම දෙයක්‌ ආවරණය කළ හැකි බවයි. නමුත්, එය ශක්‌තිමත් කොට බලගැන්වීමේ අවශ්‍යතාව මත සෑදූ බුද්ධශාසන පනත් කෙටුම්පතක්‌ ඇත. බුදුදහමට අදාළව ඉදිරියේ සම්මතයට එන පනත් අතර එය පොරොත්තු ගතව තිබේ. බුද්ධ ශාසනය හැඳින්වීමට එහි යෙදූ නිර්වචනය 2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ඇසුරෙන් තැනූවකි. එම පනත බෞද්ධයන්ගේ ඇහැ ගැටෙන්නටත් කලින් දේව මහිමයකින් මෙන් දැක ඇති ශ්‍රී ලංකා රදගුරු සමුළුව, අංක 19 මැල්කම් පෙදෙස කොළඹ 08 ස්‌ථානයෙන් “ආගමික නිදහසට කණකොක්‌ හඬ යෝජිත නව නීති ගැන විග්‍රහයකි.” නමින් ප්‍රකාශනයක්‌ නිකුත් කොට ඇත. ” බුද්ධ ශාසනය යන්නට මින් පෙර නොවූ විරූ සුවිශාල අර්ථයක්‌ දීමෙන් අනෙකුත් ආගම්වලට මෙතෙක්‌ තිබූ නිදහස ගැඹුරින් පළුදු කරනු ලැබේ. මෙම තත්ත්වය තුළ පැහැදිලිව පෙනී යන්නේ බුද්ධ ශාසනය තුළට ආගමක්‌ පමණක්‌ නොව බුද්ධ ශාසනය සමඟ බැඳී පවත්නා සියලුම ද්‍රව්‍යමය දේ ද, වචනයකින් විස්‌තර වන දේ ද, ඇතුළත් කොට ඒ සියල්ල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නීතියක්‌ ලෙස ආරක්‍ෂා කරන ලෙස යි. මෙහි දී වෙනත් කිසිදු ආගමක්‌ සම්බන්ධයෙන් මෙවැනි නෛතික සුරක්‍ෂිතභාවයන් නීතිය මගින් ලබා දී නොමැත. ” යනුවෙන් එහි දැක්‌වේ. එයින් පෙනෙන්නේ බුද්ධාගමේ රැකවරණයට එරෙහි අදිසි බලපෑම යි. බෞද්ධයන් මේ බුදුසසුනට එරෙහි බාධක මැඬලීමට එළියට ආ යුතුය. ත්‍රිපිටකය හා බෞද්ධ සංස්‌කෘතිය විකෘති කිරීම වැළකීම සඳහා සෑදු බෞද්ධ ප්‍රකාශන නියාමන පනතක්‌ ද තිබේ. එය ප්‍රමාදවීම ගැන අපට කුකුසක්‌ ඇත.

නව ආණ්‌ඩුක්‍රම කෙටුම්පතක්‌ සඳහා අදහස්‌ දක්‌වන්නැයි ඒ සම්බන්ධ කමිටුව මහජනතාවට දැනුම් දී ඇත. බෞද්ධ අයිතිය සුරැකෙන ලෙස අදහස්‌ බෞද්ධ පාර්ශ්වයෙන් එයට ඉදිරිපත් කළ යුතුය. අපට හැඟෙන පරිදි, ව්‍යවස්‌ථා සම්පාදක කමිටුව සැරසෙන්නේ 1947 සෝල්බරි ව්‍යවස්‌ථාවේ ආගමට අදාළ 29 (2) වගන්තිය ඇතුළත් කිරීමටයි. මේ කමිටුවේ බලතල උසුලන්නේ සම සමාජ පක්‍ෂයේ පිරිසකි. බුද්ධාගමට විශේෂ ලැදියාවක්‌ ඔවුන්ට තිබේ දැයි අපට කිව නොහැක. 2006 දී ජනාධිපති පත්කළ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ සර්වපාක්‍ෂික කමිටුවේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඇතුළු කණ්‌ඩායම් වාර්තාවේ මෙම රට බහු වාර්ගික හා බහු ආගමික රටක්‌ ලෙස දැක්‌වෙයි. ශ්‍රී ලංකාවේ 75% සිංහල, 70% ක්‌ බව ඔවුහු නොසලකති.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බුද්ධාගමට ආරක්‍ෂාව තිබෙන බව මතුපිටින් පෙන්වා වෙනත් ක්‍රමවලින් බුද්ධාගමට, භික්‌ෂූන්ට හා බෞද්ධයන්ට වින කටින සැලසුම් දියත් වෙයි. පළාත්වලට බලය බෙදීමේ ක්‍රියාදාමය තුළ බුද්ධාගම පිළිබඳ ව්‍යවස්‌ථාපිත අයිතිය දියාරු කෙරෙනු ඇත. මේ වන විට බහු සංස්‌කෘතික හා බහු ආගමික විෂය නිර්දේශ හා බෞද්ධ පාසල්වල අනන්‍යතාවය නැතිකිරීමේ පිඹුරු පත් සකස්‌ වෙයි. ව්‍යවස්‌ථාව ගැන බෞද්ධ විරෝධී මත පතුරුවන එන්. ජී. ඕ. පුරවැසි ජනබල මෙහෙයුම් රටපුරා දියත් වෙයි. එය විදෙස්‌වලින් ඩොලර්, ඩොයිෂ් මාක්‌ ගලන ව්‍යාපෘතියකි. බුද්ධාගම ව්‍යවස්‌ථාවෙන් කපා දැමීමත්, පෙඩරල් රටක්‌ ඇති කිරීමත් එහි අරමුණ යි. පාලන තන්ත්‍රයේ තැනින් තැන ස්‌ථාන ගත එන්. ජී. ඕ. ඉත්තෝ සිටිති. ජනාධිපති කාර්යාලයට බද්ධ වූ අය ජාතික බෞද්ධ බුද්ධි මණ්‌ඩලයක්‌ පිහිටුවා ගෙන මහනාහිමිවරුන්ගේ බල බිඳීමේ මෙහෙයුමක යෙදෙති. හොඳ ගම්බද බෞද්ධයකු වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉදිරියේ තබාගෙන පසුපස කටයුතු කරන අපේ ඉතා හිතවත් හිමිවරුන්ට ඔවුන් හෝ ඔවුන්ගේ කූට සැලසුම් ගැන නොවැටහීම කනගාටුවකි. තුන් නිකායේ ම නාහිමිවරුන්ට නිගරුවක්‌ වන ජාතික බෞද්ධ බුද්ධි මණ්‌ඩලයට බද්ධවීම බුද්ධාගම පාවාදීමකි. 1 පුරවැසි බල මුළු සාදාගත් ජාත්‍යන්තර එන්. ජී. ඕ. නියෝජිතයන් 2. ඊනියා මාක්‌ස්‌වාදීන් 3. විදෙස්‌ ගැති දේශපාලකයන් 4. සර්වාගමික භික්‌ෂූන් 5. අබෞද්ධයන් යන කුලක බුද්ධාගමේ, සිංහල ජාතියේ ඓතිහාසික උරුමය හා ඒකීය රාජ්‍යය මකාදැමීමට එකතුව සිටින බව සිංහලයන් හා බෞද්ධයන් තේරුම් ගත යුතුය. අප වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය ජාතික හෙළ උරුමය අලුත් මගක යයි. අපට තවමත් විශ්වාසය තැබිය හැක්‌කේ තෙම්පරාදු බෞද්ධයකු නොවන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගැන පමණි. නමුත් එතුමාට එකීය රාජ්‍යය හා බුද්ධාගම රැකීමට හැකියාව ලැබෙන්නේ රනිල් මෛත්‍රී බල දෝලනය හා එයට තල්ලුව දෙන චන්ද්‍රිකා ප්‍රවාහය තුළ නොසැලී දේශපාලන පෞරුෂය රඳවාගත හොත් පමණි.

පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
අස්‌ගිරි මහා විහාරිය කාරක සංඝ සභික

උපුටා ගැනීමකි. http://www.divaina.com/2016/02/15/feature01.html