කෙටියෙන්ම කියනව නම් අපි, මේ හෙළබිමේ දස අත විසිර සිටියත් පොදු අරමුණක් සිත් දරා එය කෙසේ ඉටුකරම්දෝ යි සිතමින් කල් ගත කල පිරිසකගේ ශක්තිමත් එකමුතුවකි.
මෙම සංවිධානය බිහි කිරීමට පෙර නොයෙකුත් සංවිධාන සහ පුද්ගලයින් මේ සමස්ථ ජාතියටම පොදු සමාජ ගැටළුවට විසඳුම් ලබාදෙන බවට පොරොන්දු දෙමින් නොයෙකුත් ස්වරූප වලින් බිහිවන කල්හි අපිත් අපේක්ෂා සහගතව ඔවුන් දෙස බලා සිටියෙමු. නමුත් හැමදාම වගේ ඒ ඒ සංවිධානවල හෝ පුද්ගලයන්ගේ අදුරදර්ශි, අක්‍රමවත් හෝ අත්තනෝමතික ක්‍රියා නිසා දිනෙන් දින සිංහල ජාතියට සහ ජාතිකත්වය වෙනුවෙන් එකමුතුවන තාරුණ්‍යයට අත්වන ඉරණම දැක දැක තවදුරටත් නිහඬව, කරබාගෙන සිටීමට නොහැකි බව හැඟුණු හෙයින් සමාජ ජාල අඩවියක් ඔස්සේ දැන හඳුනාගත්, රට වෙනුවෙන් යමක් කරන්නට උත්සහ කරන, ප්‍රයෝගික ජාති හිතෛශී බාල, තරුණ සහ වැඩිහිටි පිරිසක් එකම සංවාද මණ්ඩපයකට ගෙනාවෙමු.
මෙහිදී රටෙහි පවතින ජාතික හෝ ආගමික වෛරය, විනාශ වී යන රටේ ඓතිහාසික වටිනාකම, සංස්කෘතිය, සභ්‍යත්වය, ළමා, තරුණ සහ වැඩිහිටි පරපුරට අද සිදුව ඇති ඉරණම, නොයෙක් හේතු මත ඇතිවන කාන්තා හිංසනය ආදී සමාජ ගැටළු බොහොමයක් පිළිබඳව නොයෙක් වාද විවාද, සාකච්ඡා, සම්මන්ත්රණ ඇති විය. බොහෝ විට රාත්‍රිය නිදි වර්ජිත විය. මේ සියළුම සාකච්ඡා සංවාදවල සාර්ථකත්වයට හේතු වූ ප්‍රධානම සාධකය නම් අප සියලූ දෙනා පොදු එකඟතාවයක් ලෙස පාට කණ්නාඩි දමා ගත් දේශපාලනය, සංවිධානය තුල තහනම් කිරීමට තීරණය කිරීම බවද සිහිපත් කරමු.
සියළු පුද්ගලික මතිමතාන්තර ඉවත දමා සංවිධානාත්මක ව්‍යුහයක එකාවන්ව එක්කාසු වීමට පොදු එකඟතාවක් ඇති කරගත්තෙමු. මේ සඳහා කතිකා කරගත් පරිදි පොදු අරමුණු වෙනුවෙන් ව්‍යුහගත වීමේ පරම පවිත්‍ර චේතනාවෙන්, යම් පොදු බොදු බිමකදී මුණ ගැසුනි. සංවිධානයක් ගොඩ නැගීමේ මූලික සැලැස්ම සැකසුණි. පරමාර්ථ දහයක් (10) පෙරමුණේ තබා ගතිමු. මෙම අරමුණු දහය තුළ අප මුහුණ දෙන ගැටලූ සියල්ලට විසඳුම් සෙවිය නොහැකි වුවත්, යම් ප්‍රමාණයකට හෝ විසඳුම් සෙවීමට සිතුවෙමු. එම සංවිධානය අවසානයේ “යළි පිබිදෙන හිරු දරුවෝ” නමින් නම් කළෙමු. ගමන විල්ලූද ඇතිරූ බිමක නොව කඳු, හෙල්, කටු කොහොල් පිරි බිමක මග සකසා ගෙන යායුතු බවද පසක් කර ගතිමු. ගමනට උදවු කරන්නන් මෙන්ම කකුලෙන් අදින, මග අවහිර කරන පිරිස් සහ මුහුණට සිනාසී පිටු පසින් පිහියෙන් අනින මුග්ධයන් පවා එක්කාසු කරගෙන මේ ගමන යාමට සිදුවන බව අවබෝධ කර ගතිමු. එහෙත් පුද්ගලික අරමුණු වෙනුවෙන් නොව සමස්ථ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් බිහිකළ අපගේ මූලික පරමාර්ථ ඉටුවනතෙක් මේ ගමන නොනැවත්වීමට පමණක් අධිෂ්ටාන කළෙමු.
ඒ භාරධූර වගකීම ඉටු කිරීම වෙනුවෙන් සම්මත ලෝකයේ වැදගත් යයි පිළිගත් බොහෝ දේ කැප කල යුතු බවත්, දරුණු සැඩ පහරක උඩුගං බලා යෑම සඳහා තමන් එකසිතින්ම සුදානම් විය යුතු බවත් හොඳින්ම අවබෝධ කරගෙන, තම තමාගේ හෘද සාක්ෂියට එකඟව සකස් කරගත් ස්වයං ප්‍රතිඥාවකට අනුව ක්‍රියාත්මකවීමත් අපගේ සාමාජික මහත්ම මහත්මීන්ගේ විශේෂත්වය වේ.
අපගේ නමෙහි තේරුම පිළිබඳවත් කෙටි හැඳින්වීමක් කරනවානම්, ඒ මෙසේය. මේ මහපොලොවේ සියලුම ශාක සහ සත්වයින්ගේ පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය වන්නේ “හිරු” නොහොත් සූර්යයා බව අපට අවිවාදයෙන් සඳහන් කරන්න පුළුවනි. සෑම ජිවයකටම ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූලික බලය නිපදවෙන්නේ හිරුගේ ශක්තියෙන් වීම විද්‍යාත්මක මූලධර්ම තුලින්ද පෙන්වා දිය හැකියි. කෙසේ නමුත් අපේ රටේ සුවිශේෂී පිහිටීම නිසා අපි වෙනත් රටවල ජාතීන්ට වඩා හිරුත් සමග බොහොම සමීප සම්බන්ධතාවයක් පවතින බව පිළිගත හැකියි. සමකයට ආසන්නව උතුරු අක්ෂාංශ 6 අපේ රට පිහිටීම නිසා අවුරුද්ද මුළුල්ලේම සූර්ය ශක්තිය නිසි ආකාරව ලැබෙන නිසා ධ්රැව ආසන්න රටවල්වල මිනිස්සුන්ට වැඩිය අපේ ශරීරවල ප්‍රමාණයන් අඩුයි. නමුත් ජවයෙන්, ශක්තියෙන් සහ බුද්ධිමත් භාවයෙන් වැඩියි. මේ හේතුව තේරුම් ගත්ත නිසා අපේ මුතුන්මිත්තෝ හිරුට, නොහොත් මේ මහපොළොවේ ජීව පැවැත්ම රඳා පවත්වන ශක්ති ප්රභවයට ඉමහත් කෘතඥතාවයක් දැක්වුවා. අපේ රටේ සාම්ප්‍රදායික සූර්ය නමස්කාර ක්‍රම, ඈත අතීතයේ සිට අදටත් පවතින හිරු දෙවොල්, සෑම වසරකම අළුත් අවුරුද්ද ලෙස සමරන සූර්ය මංගල්‍යය මේ සඳහා හොඳම නිදසුන් ලෙස දැක්විය හැකියි. මේ වගේ අපේ හිරුත් එක්ක තිබෙන සම්භන්ධතාවය නිසා අතීතයේ පටන්ම අපිට සූර්ය වංශිකයන් කියලා හැඳින්වූ බව ප්‍රසිද්ධ කරුණක්. මෙන්න මේ සූර්ය වංශිකයන් නොහොත් “හිරු දෙවියන්ගේ දරුවෝ” කියන ශ්‍රේෂ්ට මනුෂ්‍ය කොට්ටාශය හඳුන්වන අදහසින් තමා අපි “හිරු දරුවෝ” යනුවෙන් නමට කොටසක් එකතු කලේ.
අඩු බුද්ධි මට්ටමක සිටි ලෝකය පැතලි බව පවා විශ්වාස කල ප්‍රාථමික ජන කොට්ටාශයන් කිහිපයක් විසින් එකළ, මේ මහා ප්‍රඥාවක් සහිත, කරුණාවන්ත මිනිස්සු අවාසනාවන්ත ලෙස කූට උපායන් යොදා කෙසේ හෝ වංචනික ලෙස යටත් කරගත් බවට ඉතිහාස මුලාශ්‍ර සාක්ෂි දරයි. හෙළයේ මහා ප්‍රාඥයන් බිහි කළ ඒ අසමසම දැනුම ඔස්සේ පැවති අපේ විශ්වාසයන්, අපේ සම්ප්‍රදායික අනන්‍යතාවයන් සහ අපේ අධ්‍යාපනික රටාවන් බොහොමයක් මිත්‍යාවන් ලෙස අපේ මිනිසුන්ටම උගන්වා අපේ සමාජයෙන් බැහැර කිරීමට ඔවුන් සමත් විය. අපේ බොහෝ ඉතිහාස පොත් පත්වල මුලශ්රයක්වත් අපට නොමැති කිරීමට තරම් ඔවුන් උපායශීලී විය. එකළ, ඔවුන් නිවැරදි යයි අපට ඉගැන්වූ ක්‍රමවේදවල අනිසි ප්‍රථිපල අත් දුටු නිසා ඔවුන් දැන් අපේ පාරම්පරික ක්‍රමවේද ගවේෂණය කරමින් සොබාදහමේ වටිනාකම, ජීවීන්ගේ වටිනාකම තේරුම් ගන්න උත්සාහ කරයි. එකළ, අපට ඉගැන්වූ මිත්‍යාවන් පසුපස අද ඔවුන් පිස්සු බල්ලන් සේ දුවයි. කටු මැටි ගසා පැදුරු සෙවිලි කල නිවසක එක රාත්‍රියක් ගතකිරීම සඳහා ඔවුන් විසින් ඩොලර් දහස් ගණන් වියදම් කරන්නේ ඒ නිසාය.
අපි නාමික නිදහසක් පමණක් සහිතව එකිනෙකා කුලල් කා ගනිමින් පුහු උගත්කමක් ඇතිව මාන්නයෙන් මත්වෙලා දිනෙන් දින විනාශ මුඛයට යමින් සිටිමු. ආත්මාර්ථකාමීත්වය, කුහකකම, ඉරිසියාව, මාන්නය ආදී දුර්ගුණවලින් පෝෂිත ඉතා පහත් මනුෂ්‍ය කොට්ටාශයක් බවට අද අපේ බහුතරයක් පිරිස පත්ව සිටී. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සහ පරිපාලන ක්‍රමය තවමත් යටත් විජිත කාලයේ තිබූ ව්‍යුහයම සුළු සුළු වෙනස්කම් සහිතව භාවිතා කරයි. මේ හේතුව නිසා බටහිර හැමදේටම ගරු කරන, සුදු හමට, පර බසට හිස නමන යටත් විජිත මානසිකත්වයක් සහිත අක්මුල් සිඳුණු මනුෂ්‍ය කොට්ටාශයක් බිහිව තිබේ. මේ හේතුවෙන් දිනෙන් දින ජාතියේ අනන්‍ය ලක්ෂණ, අනන්‍ය දැනුම, අනන්‍ය හැසිරීම, අනන්‍ය සංස්කෘතික අංග ආදී සියල්ල අමතක කොට තම වාසිය, ලාභය තකා කටයුතු කරන මුග්ධ රැලක් බිහි වී තිබේ.
අනුන්ගේ ක්‍රම ගෙඩි පිටින් ගන්න ගිහින් වැරදුන අපට දැන් අවශ්‍ය වන්නේ නැවත නැගී සිටීමට සුදුසු, අපිට ගැලපෙන ක්‍රමවේදයකට නිවැරදි මග පෙන්වීමක් නොවේද? මෙහි “යළි පිබිදෙන” ලෙස අපි නම් කලේ, ඒ මඟ පෙන්වීම ලබාදී ජාතිය නගා සිටුවීමේ අදහස පෙරදැරිවයි. ඇයි නැවත පිබිදීමක් අවශ්‍ය වෙන්නේ? පිළිතුර බොහොම ඛේදනීයයි. දැනට යන විදියට දිගටම මේ ජිවන රටාව පවත්වාගෙන ගියහොත් මේ ජාතියේ පැවැත්ම තවත් වසර 50 කට පමණ සීමා වේවි. ලෝකෙට වාරි කර්මාන්තය ඇතුළු සූ සැට කලාවන් හඳුන්වාදීපු, මුළු මහත් ලෝකයාට දහම් පණිවිඩය බෙදාහැරපු, කිසිම දවසක අන් කිසිම ජාතියකට අවි බලෙන් යටත් කරගන්න නොහැකි වූ, මනුස්සකම හඳුනන, ආගන්තුක සත්කාර හඳුනන, නිතරම සැහැල්ලුවෙන්, සිනහවෙන් ජිවත්වන ශ්‍රේෂ්ට ජාතියක අවසන් පිරිසත් මේ විදියට විනාශවෙලා යන බව දැක දැක කොහොමද අපි කරබාගෙන ඉන්නේ? ජාතියක් විදියට අපි විනාශ නොවීමට නම් අපේ වැරදි හරිගස්සගෙන නැවත එකමුතු වෙන්න ඕනි නේද? අන්න ඒ වෙනුවෙන් තමා අපිට “යළි පිබිදීමක්” අවශ්‍ය වෙන්නේ. ඒ නිසා “යළි පිබිදෙන හිරු දරුවෝ” ලෙස අරුත් ගැන්වෙන්නේ සුර්ය වංශයට අයත් හෙළ ජාතියේ නැවත නැගී සිටීම කියන ගැඹුරු අදහසයි.