බෞද්ධයෙකු වශයෙන් ඔබ පොහොය දොළසේ වැදගත්කම ගැන දන්නවාද?

මෙවර අප ඔබව දැනුවත් කරන්නේ ඇසළ පුර පසලොස්වක පෝය (ජූලි මාසය) පොහොයේ වැදගත්කම ගැනයි.

ඊට ප්‍රථම පැරණි පොහොය ක්‍රමය පිලිබඳ කෙටි හැඳින්වීමක් කරන්නම්.

සිංහල ලිතට අනුව අපේ මාස 12

බක් (අප්‍රේල්)
වෙසක් (මැයි)
පොසොන් (ජුනි)
ඇසළ (ජුලි)
නිකිණි (අගෝස්තු)
බිනර(සැප්තැම්බර්)
වප් (ඔක්තෝම්බර් )
ඉල්(නොවැම්බර්)
උදුවප් (දෙසැම්බර් )
දුරුතු (ජනවාරි)
නවම් (පෙබරවාරි)
මැදින් (මාර්තු)

මේ මාසයකට පොහොය දින 04 ක් තිබේ. පැරණි චන්ද්‍ර මාස ක්‍රමයට අනුව සම්මත සතර පොහොය සලකන්නේ පහත ආකාරයටයි.

මාසයේ 08 වන දිනය පුර අටවක පෝය
මාසයේ 15 වන දිනය පසළොස්වක පෝය හෙවත් දෙපෝය
මාසයේ 23 වන දිනය අව අටවක පෝය
මාසයේ 30 වන දිනය අමාවක පෝය

මේ පොහොය සතරින් බෞද්ධයාට වැදගත්ම පොහොය වන්නේ පුර පසළොස්වක පොහොය දිනයයි.

ඇසළ පුර පසලොස්වක පෝය දින බුද්ධ චරිතය ඇසුරෙන් සහ ලක්දිව බුදු සසුනේ ඉතිහාසය ඇසුරෙන් අපට වැදගත් වන්නේ කෙසේද යන්න ගැන ඔබව දැනුවත් කිරීමටයි මෙවර අපේ උත්සාහය.

ඇසළ පුර පසලොස්වක පෝය (ජූලි මාසය) වැදගත්කම
සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම
සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණය කිරීම.
රාහුල කුමරුගේ උපත සිදුවීම.
බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග තවුසන්ට ප‍්‍රථම ධර්ම දේශනාව වූ “ධම්ම චක්ක පවත්තන සූත‍්‍රය” දේශනා කිරීම.
මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.
කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් ඵලයට පත්වීම.
තීර්ථකයන්ගේ මානය බිඳීම සඳහා ගණ්ධබ්බ රුක් මූලයේ දී යමාමහ පෙළහර පෑම.
ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.
කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු කල සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව යළි ඇති කිරීම.
භික්ෂූන් වහන්සේලා පෙහෙවස් සමාදන් වීම.
මහනුවර දළදා පෙරහරත්, ඇසළ මාසය තුළ දී ආරම්භ කරනු ලබයි.
ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම.
පාත්‍රා ධාතුව ලංකාවට වැඩමවීම.
ප්‍රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීම.
ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.
බු.ව 382 දී දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.
මහ සෑයේ ධාතු නිධානය අනේකප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.
කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.