මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න අපේ මිනිස්සුන්ට උදව් කරමුද?

අප වෙසක් මාසය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිබු බව ඔබ බොහෝ දෙනෙක් හොඳින් දන්නා කාරණයකි. ඒ වැඩසටහන් කිහිපයත් සාර්ථකව කරගෙන යන අතරම, අනපේක්ෂිත ලෙස පැමිණි රටේ ස්වභාවික ව්‍යසන තත්වය නිසා අපේ සහෝදර ජනතාව පත්ව තිබෙන අසරණ තත්වයට සුළු හෝ සහනයක්වීම වෙනුවෙන් ජාතික සංවිධානයක් ලෙස කිසිත් නොකර සිටිය නොහැකි තත්වයක් උදාවී ඇත. ඒ නිසා සීමිත සම්පත් දායකයන් පිරිසක් සමඟ දුෂ්කරතා මධ්‍යයේ උවත්, ඒ වෙනුවෙන් තවත් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අපි තීරණය කළා.

රටෙහි පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ අරණායක ප්‍රදේශයේ සිදු වූ නාය යාම ගැන සහ රටේ විවිධ ප්‍රදේශ වල ඇතිව තිබෙන ගංවතුර තත්වය ගැන ඔබ සියලූ දෙනා දැනුම්වත් වී ඇතැයි සිතමු. අප මෙමගින් සිදු වූ ව්‍යසනයන් පිළිබඳව පුන පුනා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන
බවත්, දැනට උද්ගත වී ඇති තත්වයන් අනුව හැකි ඉක්මනින් අපගේ ආධාර උපකාර අවශ්‍ය අසරණ වූ සහෝදර පිරිසක් සිටින බවත් පමණක් සිහිපත් කරමු.

නායයාම සිදු වූ ප්‍රදේශයට ආසන්නව ජීවත් වූ එක් දහස් පන්සියයක (1500) පමණ පිරිසක් මතු ආරක‍ෂාව පතා එම පළාතෙන් ඉවත් කර අවට විහාරස්ථානවල පදිංචි කර ඇත. එම ප්‍රදේශයේ සිටින අප හිතවතුන්ගෙන් ලැබුණු තොරතුරුවලට අනුව අද දින වන විටත් ඔවුන්ට කිසිම රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක උදව් හෝ පිහිට ලැබී නොමැත.

තවද ගංවතුරෙන් සහ නායයාම් වලට ගොදුරු වූ විවිධ ප්‍රදේශවලට යවන ආධාර එකතු කරන්නන් බහුතරයකගේද අවධානයට ලක් නොවූ අංශයක් පිළිබඳවත් අපට දැනගන්නට ලැබුණි. එනම් සමාජ කතිකාවතක් ලෙස නොමැති වුවද, අවතැන් වූ ළමා හා කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අවශ්‍ය පරිදි නොලැබීමයි. ඒ නිසා ඒ ගැනත් අවධානය යොමුකර හැකි ඉක්මනින් මේ සඳහා ක්‍රියාත්මක වීම අපගේ බලාපොරොත්තුවයි. ඉදිරි සතියක හෝ දෙකක කාලයක් ඇතුලත අපි මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ක්‍රියාත්මකවීමට සුදානම් වෙමු.

මේ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යයන් (පහත ලැයිස්තුවේ සඳහන් කර ඇත) භාණ්ඩ හෝ මුල්‍යමය ආධාර වශයෙන් අප සංවිධානයට ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වශයෙන් අප තෝරා ගත් දේ :

ඇඳ ඇතිරිලි / ළදරුවන්ට අවශ්‍ය ද්‍රව්‍ය / දරුවන්ගේ ඇඳුම් / කාන්තාවන්ගේ සනීපාරක‍ෂක ද්‍රව්‍ය / කාන්තා සහ පිරිමි යට ඇඳුම් / වියලි ආහාර ද්‍රව්‍ය / කිරි පිටි / ඛෙහෙත් ද්‍රව්‍ය හෝ මුල්‍යමය ආධාර

(විශේෂයෙන් ඇඳුම් සැපයීමේදී පාවිච්චි නොකරන ලද නිමි ඇඳුම් පමණක් සපයන මෙන් කාරුණිකව සිහිපත් කරමු)

භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථානය : 463/1, නුවර පාර, (පුවක්වැටිය) කඩවත.

මුල්‍යමය ආධාර ලබා දිය හැකි ගිණුම් අංකය : 121261001805
ගිණුමේ නම : යළි පිබිදෙන හිරු දරුවෝ (Yali Pibidena Hiru Daruwo)
බැංකුව සහ ශාඛාව : සම්පත් බැංකුව – ගම්පහ අධි ශ්‍රේණි ශාඛාව
කාරණය : ඔබගේ නම සහ “හදිසි විපත් ආධාර” යනුවෙන් තැන්පත් කරන හේතුව සටහන් කල හැකිය.

වැඩි විස්තර සඳහා 0115249439 හෝ 0716905344 දුරකථන අංක අමතන්න.

මෙයට,
විශ්වාසී,
ගරු ලේකම්,
යළි පිබිදෙන හිරු දරුවෝ,
14/4/D, එක්සත් මාවත, මහර, කඩවත.
yalipibidena@hirudaruwo.org